වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන  උත්සාහ සාර්ථක කර ගැනීමට මේ මොහොතේදී ජනතා සහාය උපරිමයෙන් අවශ්‍ය බව ඇය අවධාරණය කරයි. දීර්ඝ සති අන්තයකට පසු රෝගීන් වැඩි වීම ගැන මින් පෙර ලැබූ කටුක අත්දැකීම නැවත නැවත සිදුවුවහොත් එය නගරයේ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරන බව Dr. Eileen පවසයි.  පසුගිය කාලයේ කොවිඩ්-19 රෝගීන් වැඩිවීමේ රටාව සලකා බැලීමේදී දීර්ඝ සති අන්තවලින් පසු වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉතා විශාල බව පෙනී යයි.

වර්තමානයේදී ටොරොන්ටෝව තුළ වඩාත් වේගයෙන් පැතිරෙන කොරෝනාවෛරස ප්‍රභේද කිහිපයක්ම පැවතීමත් එන්නත් මාත්‍රා දෙකම ගෙන පූර්ණ ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව ලැබූ පුද්ගලයන් අවම වීමත් යන කරුණු මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු බව ඇය පවසයි. විශේෂයෙන්ම නගරයේ තරුණ පිරිස අතරින් බහුතරයකට තවමත් එන්නතේ පළමු මාත්‍රාව හෝ ලැබී නැති නිසා ඔවුන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත. අවුරුදු 18 ට වැඩි බොහෝ දෙනෙකු මේ වන විට එන්නත සඳහා ලියාපදිංචි වී ඇතත් ඔවුන්ට එන්නත ලැබී නොමැත. එසේම එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයන් තුළද ආසාදනයට එරෙහි ප්‍රතිරෝධයක් දැක්වීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වේ.

මේ කරුණු සැලකිල්ලට ගෙන යහපත් කාලගුණයක් සහිත මේ සති අන්තය ඉතාමත් ආරක්ෂිතව ගත කරන ලෙසත් මේ සති අන්තය පෙර පැවති අවදානමට වඩා වැඩි අවදානමක් සහිත සති අන්තයක් බවත් සිහි තබාගන්නා ලෙස ඇය ජනතාවට දන්වා සිටී.

මේ වන විට ඔන්ටේරියෝවේ stay-at-home නියෝගය ක්‍රියාත්මක වන අතර පළාත ඉක්මනින් විවෘත කිරීම පිළිබඳ රජය හා සෞඛ්‍ය අංශ අතර සාකච්ඡා පැවැත්වේ. නමුත් පළාත ඉක්මනින් විවෘත කළහොත් වඩාත් දරුණු සිව්වන රැල්ලක් අත්විඳීමට ජනතාවට සිදුවිය හැකි බවට සෞඛ්‍ය ප්‍රධානීන් අනතුරු අඟවමින් සිටී.

වසරේ මුල්ම උණුසුම් කාලගුණ තත්ත්වය පවතින මේ දිනවල පළාතේ උද්‍යාන, ඇවිදින මං තීරු, පාපැදි මාර්ග ජනතාවගෙන් පිරී ඇත. දිගු සති අන්තයක් පැමිණීම මේ තත්ත්වය තවත් වැඩි කරවන්නකි.‍

 ටොරොන්ටෝ නගරයේ සෞඛ්‍ය අංශය එළිමහනේ ගත කරන ජනතාවට පවසන්නේ, සුන්දර කාලගුණ තත්ත්ව සහිත ගිම්හාන කාලයන් තව ඉදිරියටත් පැමිණෙන බව සිහි තබාගෙන මේ අසීරු මොහොතේ සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල අනුකූලව කටයුතු කොට අනාගතයේ අවැසි පරිදි එය භුක්ති විඳීමට ආරක්ෂිත වන ලෙසයි.

Share this Post