ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු වන Vijay Thanigasalam (Scarborough-Rouge Park) විසින් පෞද්ගලික කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කොට ඇත. 2019 අප්‍රේල් 30 වන දින එම පනත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන කියවීම මැයි 16 වන දින සිදුකර ඇත. එය ව්‍යවස්ථාදායකයේ තුන්වන වරටත් කියවීමෙන් පසු සම්මත කරගැනීමට අවස්ථාව ලැබී ඇත.

Bill 104 , Tamil Genocide Education Week Act  යනුවෙන් නම් කර ඇති මෙයට අනුව සෑම වසරකම මැයි 11 සිට 18 දක්වා වන දින හත දමිළ ජන සංහාර අධ්‍යාපන සතිය ලෙස ස්ථාපිත කෙරෙනු ඇත. එම කාල සීමාව දෙමළ ජනතාව යනු කවුද පිළිබඳ දැනුවත් වීමට, ලෝක ඉතිහාසය තුළ සිදුව ඇති දෙමළ ජන සංහාර හා වෙනත් ජන සංහාර පිළිබඳ දැනුවත්භාවය පවත්වාගැනීමට යොදා ගැනීමට අදහස් කර ඇත.

තමා ඉදිරිපත් කළ මෙම පනත සම්මත වීම ඔන්ටේරියෝ සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව සඳහා ඓතිහාසික අවස්ථාක් ලෙස මන්ත්‍රී Vijay ඔහුගේ ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත.

අග්නිදිග ආසියාවෙන් පිටත විශාලතම දෙමළ ජන ප්‍රජාව වෙසෙන ප්‍රදේශයක් ලෙස ඔන්ටේරියෝව හැඳින්විය හැකි අතර එයින්ද ටොරොන්ටෝව ඇතුළු Greater Toronto Area (GTA) ප්‍රධාන වශයෙන් දැක්විය හැක.  Greater Toronto Area හි සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යුහය තුළ දෙමළ-ඔන්ටේරියානුවන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

 

 

Share this Post