ඇතැම් රටවල් තම දේශසීමා වසා දමමින් විවිධ ජාතීන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් කැනඩාවේ දේශසීමා සියලුම ජනතාව සඳහාත් ඔවුන්ගේ නිපුනතා සඳහාත් විවෘතව ඇති බව ෆෙඩරල් රජයේ ආගමන සරණාගත හා පුරවැසිභාව පිළබඳ ඇමති අහමඩ් හුසේන් මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සිය දේශ සීමා හා ආගමන ප්‍රතිපත්ති පිළිබඳව යම් යම් සීමාවන් පනවද්දී කැනඩාව ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයකට පිවිසෙමින් දක්ෂතා, කුසලතා හා ආයෝජනය සඳහා විවිධ ජාතීන්ට මෙහි පැමිණීමට දොරටු විවෘත කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි 27 වෙනි දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් රටවල් 7 ක ජනතාවට ඇමරිකාවට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරමින් පනවනු ලැබූ ආන්දෝලනාත්මක නියෝගයත් සමග එ් පිළිබඳව විවිධ කථීකා මෙරට තුළද ඇතිවීමට පටන් ගති. පසුගිය ජනවාරි 31 වන දින ඔටාවා පාර්ලිමේන්තුවේදී අහමඩ් හුසේන් ඇමතිවරයාගෙන් ඉදිරි සරණාගත සැලසුම් පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු විසින් ඉහත ප්‍රකාශ කර තිබුණි. එහිදී වැඩිදුරටත් ඔහු පවසා තිබුණේ 2017 වසරේදී සරණාගතයින් 40,000 ක් සඳහා කැනඩාවේ ඉඩ පහසුකම් ලබා දීමට කර ඇති සැලසුම වෙනස් කිරීමට අදහසක් නැති බවයි.
ට්‍රම්ප් ජනපති මුස්ලිම් රටවලට තහනම් නියෝගය නිකුත් කළ දිනට පසු දිනම එ් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයකින් තම අදහස් දැක්වූ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ මෙසේ පවසා තිබුණි.

‘To those fleeing persecution, terror & war, Canadians will welcome you, regardless of your faith. Diversity is our strength #Welcome To Canada’
(ත්‍රස්ත යුද බිය මැද පීඩාවට පත් වී පළා යන පිරිස කුමන ලබ්ධියක, ඇදහිල්ලක සිටියත් එය නොසලකා ඔවුන්ව කැනඩාවට පිළිගැනීමට අප සූදානම්. එම විවිධත්වය අපගේ බලයයි.)
ටෘෘඩෝ අගමැතිගේ ට්විටර් පණිවිඩයට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණු අතර කැනේඩියානුවන් බහුතරයක්ද ඊට ප්‍රසාදය පළ කොට තිබුණි.
කැනේඩියානුවන්ගේ සිතුම් පැතුම් පිළිබඳව පැහැදිලිම හැඟීම් ප්‍රකාශයක් අගමැති විසින් සිදුකර තිබුණු බවත් විවෘත රටක් ලෙස පිළිගැනීමේදී සෙසු ජනතාව කෙරෙහි එරට ක්‍රියාකරන සම්ප්‍රදායයන් පිළිබඳව කළ හැකි ප්‍රගතිශීලීම ප්‍රකාශය එය බවත් ටෘෘඩෝ අගමැතිගේ ට්විටර් පණිවිඩය පිළිබඳවද ඇමති හුසේන් අදහස් දක්වමින් පවසා තිබුණි.
කැනඩාව මේ වන විට නිපුණතා සහිත ශ්‍රමිකයන් වෙනුවෙනුත් අන්තර්ජාතික සිසුන් වෙනුවෙනුත් ව්‍යාපාරිකයින් වෙනුවෙනුත් විශාල වශයෙන් දොරටු විවර කර ඇති බවත් එම කාර්යයන් ඉදිරියට ගෙන යන ගමන්ම කැනඩාවෙන් පිළිසරණ පතන සරණාගතයන්ටද මෙරට දොරටු විවර කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන බවත් ඇමතිවරයා පවසා තිබුණි.
වර්තමානයේ කැනඩාවේ විදේශ ඇමති ලෙස කටයුතු කරන අහමඩ් හුසේන් මහතා සෝමාලියාවේ සිට මෙහි පැමිණි සරණාගත පවුලක දරුවෙකු ලෙස හැදී වැඩුණු අයෙකි.

Share this Post