කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශ සමත්ව ඇත. 

කොවිඩ් -19 සඳහා එන්නත්කරණය  මීට මාස පහකට පෙර කැනඩාවේ ආරම්භ කෙරුණු අතර මේ වන විට වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලුම පුද්ගලයන්ට එන්නත ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

එන්නත පිළිබඳ දත්ත තොරතුරුවලට අනුව කැනේඩියානුවන්ගෙන් සියයට 4 කට වැඩි පිරිසක් මේ වන විට පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇත.

ආරම්භ වූ මුල් අවධියේදී එන්නත් සපයා ගැනීමේදී ඇති වූ දුර්වලතා මත  මන්දගාමීව සිදුවූ එන්නත් වැඩසටහන මේ වන විට ඉතාමත් කාර්යක්ෂමව සිදුවන බව පැවසිය හැක. කැනඩාවේ බොහෝ පළාත්වල දැවැන්ත එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අවශ්‍ය පමණ එන්නත් තොග නොකඩවා ලැබෙමින් පවතී. කැනඩා ෆෙඩරල් රජයේ ප්‍රතිසම්පාදන අමාත්‍ය Anita Anand ඒ පිළිබඳව තහවුරු කරන පණිවුඩයක් ඇයගේ ට්විටර් ගිණුමෙහි සඳහන් කොට තිබුණේ මෙසේය.

2020 දෙසැම්බර් 09 වන දින Health Canada විසින් කැනේඩියානුවන් සඳහා අනුමත කරන ලද පළමු එන්නත Pfizer-BioNTech වේ. ඉන් දින කිහිපයකට පසු දෙසැම්බර් 14 වන දින එම එන්නත කැනේඩියානුවන් සඳහා ලබා දීම ඇරඹුනි.

ඇමරිකානු ඖෂධ සමාගමක් මගින් නිෂ්පාදිත  Modern එන්නත කොවිඩ්-19 සඳහා කැනඩාවේ අනුමැතියය ලද දෙවැනි එන්නතයි. එය 2020 දෙසැම්බර් 23 වැනිදා අනුමත කරන ලදී.

2021 පෙබරවාරි මාසයේදී Oxford-AstraZeneca සහ Covishield එන්නත් සඳහා කැනඩාවේ අනුමැතිය හිමි වූ අතර මාර්තු මාසයේදී Johnson & Johnson එන්නතට අනුමැතිය හිමි විය.

කොවිඩ්-19 සඳහා වන මෙම කිසිදු එන්නතක් කැනඩාව තුළ නිෂ්පාදනය නොවන අතර සියලුම එන්නත් විදේශයන්ගෙන් ආනයනය කරනු ලැබේ. ‍

ලෝකයේ විවිධ රටවල් කොවිඩ්-19 සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් වෙළඳපොළට නිකුත් කිරීමත් සමග ඒවා මිල දී ගැනීමට සියලුම රටවල් එකවර ඉදිරිපත් විය. නමුත් අදාළ නිෂ්පාද ආයතනවලට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මත විශාල තරඟයක් ඉබේම නිර්මාණය විය. මෙම තරඟයට නිසා කැනඩාව ඇණවුම් කළ එන්නත් ප්‍රමාණ ලබා ගැනීම දැඩි අපහසුවක් විය. මේ නිසා එන්නත් වැඩ පිළිවෙළ පටන් ගත් මුල් කාලයේදී එය ඉතාමත් මන්දගාමී විය.

මෙම කාලයේදී එක්සත් ජනපදය (USA) හා එක්සත් රාජධානිය(UK) එම රටවල ජනතාවට සීඝ්‍රයෙන් එන්නත ලබාදීම සිදුකළ අතර මාර්තු මාසය වන විට එක්සත් රාජධානිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටේ ජනගහනයෙන් සියයට 50 කට පමණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි. ඇමරිකාවේ CDC ආයතනය විසින් අප්‍රේල් මැද භාගයේ නිකුත් කළ නිවේදනයකට අනුව එරට වැඩිහිටි ජනගහනයෙන් අඩකට පමණ අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලැබී ඇත. එම රටවල පූර්ණ එන්නත් මාත්‍රා ලබාගත් අනුපාතය ඔවුන්ගේ ජනගහනයෙන්, USA සියයට 32.5 ක් ලෙසත් UK 38.3 ක් ලෙසත් Johns Hopkins University වාර්තාවල සඳහන් වේ.

‍කැනඩාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා එන්නත් මිලියන 400 ක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගෙන ඇති බව සඳහන් වේ. මෙය කැනඩාවේ ජනගහනයට වඩා අතිශයින් වැඩි  ප්‍රමාණයක් වුවත් ආරක්ෂිත විකල්පයක් ලෙස මෙම පියවර ගත් බව ෆෙඩරල් සෞඛ්‍ය ප්‍රධානීන් පවසයි. වෛරසයට එරෙහිව කැනඩාව තුළ එන්නත්කරණය අවසන් වූ පසු ගෝලීය එන්නත්කරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතිරි එන්නත් පරිත්‍යාග කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෙඩරල් රජය පවසා ඇත.

මේ වන විට කැනඩාව කෙමෙන් කෙමෙන් ගිම්හාන කාලයට ළඟා වෙමින් පැවතියත් මෙම ගිම්හානයද නිදහසේ භුක්ති විඳීමේ අවස්ථාව ජනතාවට නොලැබෙන බව පෙනී යයි. මේ වන විට බහුතරයක් ජනතාව එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා ඇති නිසා තවදුරටත් කැනඩාවේ පළාත් වශයෙන් විවිධ වූ සීමාවන් පැනවීම සිදු කරනු ලබයි. එන්නත්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකොට කොවිඩ්-19 රටෙන් පහව ගොස් ජනතාවට පූර්ණ ආරක්ෂාව ලැබෙන තෙක් වර්තමාන කොවිඩ්-19 සීමාවන් ක්‍රියාත්මක කළ යුතු බව අගමැති ජස්ටින් ටෘඩෝ කියා සිටියි. ප්‍රජා සම්ප්‍රේෂණය සාර්ථකව සීමා කිරීම මගින් කොවිඩ් -19 පාලනය කළ හැකි බව ඔහු පවසයි.

Share this Post