ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය කෙරුණු දප්පුල ලිවේරා මහතා එම ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.

දැනට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය දරන දප්පුල ලිවේරා මහතා තවත් සති කිහිපයකින් ඔහුගේ සේවා කාලය අවසන් කිරීමට නියමිතව ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යෑමෙන් පසු කැනඩාවේ මහ කොමසාරිස් ලෙස ලිවේරා මහතාව පත් කිරීමට ජනාධිපතිවරයා අදහස් කොට ඇත. මෙම යෝජනාව කිරීම පිළිබඳව තමන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන නමුත් එම තනතුර භාරගැනීමට නොහැකි බව ලිවේරා මහතා දන්වා ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන ලිවේරා මහතා, තමා විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකාවේම රැඳී සිටිමින් රටේ ජනතාවට සේවය කිරීම තම අදහස බව පවසයි.

2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ 47 වෙනි නීතිපතිවරයා ලෙස පත් වූ දප්පුල ලිවේරා මහතාගේ වසර දෙකක සේවා කාලය මේ වසරේ මැයි මාසයේදී නිමා වෙයි. ඔහු නීතිපතිවරයා ලෙස සිටි කාල සීමාවේදී නඩු 27,206 ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න පවසා ඇත.

Share this Post