කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,523 කි. ගත වූ දින 10 පුරා අඛණ්ඩව දිනකට ලක්ෂ 3 ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 19,164,969 ලෙස දැක්වේ. සම්පූර්ණ මරණ සංඛ්‍යාව 211,853 කි. කෙසේ වෙතත් මේ සටහන් කෙරෙන සංඛ්‍යාලේඛනවලට වඩා වැඩි වූ ප්‍රමාණයක් කොවිඩ්-19 නිසා අනතුරට පත්ව සිටිනවා විය හැකි බවටද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඇතුළු ඇතැම් පිරිස් අදහස් පළ කරමින් පවසා සිටියි.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ සෙසු ඖෂධ වර්ගවල හිඟයෙන් සහ වැඩිවන රෝගීන්ට සෑහෙන තරම් රෝහල් පහසුකම් නොමැති කමින් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින ආකාරය කොතරම්ද යන්න ඒ පිළිබඳව දිනපතා මාධ්‍යවල පළවන දර්ශනවලින් දැකගත හැක. 

තත්ත්වය පාලනය කළ නොහැකි තරම් දරුණු වීමත් සමග මිලියන 19 ක ජනතාවක් ජීවත් වන දිල්ලි නගරය වසා දැමීමට ඉන්දියන් රජය කටයුතු කොට ඇත. මෙම lockdown මැයි 10 දා තෙක් පවතින බව රජය පවසයි. මේ වන විට Maharashtra, Karnataka සහ West Bengal යන පළාත්ද වසා දමා ඇත.

කොවිඩ් 19 සඳහා එන්නත් නිපදවන ප්‍රධානම රටක් වන ඉන්දියාව මේ වන විට බිලියන 1.4 ක් වූ තම ජනතාවට සෑහෙන පරිදි වැක්සීන නිපදවාගත නොහැකි වීමේ අරගලයට මුහුණ පා සිටී. මේ වන විට ඉන්දියන් ජනගහනයෙන් සියයට 10 කට පළමු වැක්සීන මාත්‍රාව ලබා දී ඇති අතර සම්පූර්ණ වැක්සීන මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය එරට ජනගහනයෙන් සියයට 1.5 ක පමණ සුළු ප්‍රමාණයකි. කඩිනමින් එන්නත්කරණ වැඩසටහන කිරීම මේ අවස්ථාවේදී කළ යුතුව ඇතත් ජනතාව සඳහා ලබාදීමට සෑහෙන තරම් එන්නත් නොමැති බව රජය පවසයි. පසුගිය සිකුරාදා (30 දා) හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ  අගමැති මෝදි පවසා සිටියේ වයස අවුරුදු 18 ඉහළ සියලුම පුද්ගලයින් සඳහා හැකි ඉක්මනින් එන්නත් ලබා දෙන ලෙසයි.

මේ අතර ගුජරාටි ප්‍රදේශයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් ඇතිවූ ගින්නක් නිසා රෝගීන් 16 දෙනෙකු සහ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකු මරණය පත්වූ පුවතක්ද වාර්තා විය. 

Share this Post