[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සැරසෙන විට ඔබගේ මූල්‍යමය කටයුතු සකසා ගත යුතු අන්දම පිළිබඳව පසුගිය ලිපි කීපයකින්ම මා ඔබ දැනුවත් කළා. එම කරුණු මනාව අධ්‍යයනය කිරීම තුළින් වඩාත් පහසුවෙන් හා දැනුවත් භාවයකින් යුතුව ඔබගේ නිවාස සිහිනය වෙත ළඟා විය හැකි වෙතැයි මා අදහස් කරනවා.

මෙවර මා ඉදිරිපත් කරන ලිපිය තුළින් නිවාස සොයා සැරිසරන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු ඉසව්වක් පිළිබඳව කරුණු අනාවරණය කිරීමට බලාපොරොත්තු වනවා.

මොනවද මේ  grow-ops

කංසා (Cannabis sativa) එසේත් නැතිනම් මරිජුවානා නම් නීතිවිරෝධී පැළෑටි වගා කිරීම සඳහා සැකසූ ගෘහස්ථ තවාන් සහිත වූ නිවාස grow-ops ලෙස හඳුන්වනු ලබයි.  Grow operation යන්න කෙටි කොට ලිවීමෙන් grow-ops යන වචනය සෑදී ඇත. මෙබඳු ග්‍රෝ-ඔප්ස් ගෘහස්ථ තවාන් නිවසක, තට්ටු නිවාසයක, ටවුන් නිවසක ආදි ඕනෑම තරාතිරමක ගොඩනැගිල්ලක් තුළ පවත්වාගෙන යා හැකිය. නිව්බ්‍රවුන්ස්වික්හි පිහිටි වැඩිහිටි නිවාසයක බේස්මන්ට් කොටස තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි පැළ තවානක් පිළිබඳව පසුගිය නොවැම්බර් මස වාර්තා වූ අතර පොලිසිය විසින් සිදුකළ වැටලීමකදි එහි තිබී පැළ 550 ක් සොයාගෙන තිබුණි. ඉහත සිද්ධිය පිළිබඳ සැලකිලිමත් වීමේදී පෙනී යන්නේ අප නොසිතන ස්ථානවල පවා මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකෙරෙන බවකි.

uuuuකැනේඩියානු මත්ද්‍රව්‍ය මාෆියාව තුළ පැතිර පවත්නා මෙම ග්‍රෝ-ඔප්ස් වසංගතය මැඩ පැවැත්වීම සඳහා කෙතරම් නීති ගෙන ආවද මෙතෙක් එA කිසිවකින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි වී ඇත. 2011 වසරෙහි කැනේඩියානු රාජකීය පොලිසියෙහි වාර්තාවල දැක්වෙන අන්දමට ග්‍රෝ-ඔප්ස් උවදුරට ගොදුරු වී ඇති නිවාස සංඛ්‍යාව කැනඩා සමස්ත නිවාස ප්‍රමාණයෙන් අඩකට කිට්ටු බව පැවසේ.

කංසා පැළෑටිවලට වෙළඳපොළ තුළ ඇති ඉල්ලූම ඉතාමත් අධික වේ. සාමාන්‍යයෙන් මරිජුවානා රාත්තල් භාගයක් ඩොලර් 1000 ක් වැනි මිලකට අලෙවි වීම තුළම එහි අගය කෙතරම්දැයි ඔබට වැටහෙනු ඇත. සමාජ සාරධර්ම පිරිහී ගොස් මුදල් මූලික සමාජයක් මතුව ඇති මෙවන් කලෙක මෙම නීතිවිරෝධි වගාවන් නැවැත්වීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බව ඔබට වැටහෙනු ඇත. එනිසා අප විසින් කළ යුත්තේ හා අප හට කළ හැක්කේ හැකිතාක් මෙම උවදුරුවලින් දුරු වී කල් ගෙවීමට වග බලා ගැනීමයි.

grow-ops  හි බලපෑම

නීතිවිරෝධි grow-ops තවාන් නිසා ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වන අංශ දෙකක් ඇත. සාමාජීය හා ආර්ථීක වශයෙන් ලෙස නම් කළ හැකි එම අංශ දෙක තුළදී නොයෙක් අයුරින් පීඩාවට පත්වන්නන් සංඛ්‍යාව විස්තර කළ නොහැකි තරම්ය. ඇත්තෙන්ම මෙම ගැටලූව පිළිබඳ සලකා බැලීමේදී ග්‍රෝ-ඔප්ස් නිසා පීඩාවට පත්වන්නන් සාමාජයීය හා ආර්ථීක යන අවස්ථා දෙකටම එකවර මුහුණ දෙන බව පෙන්වා දිය හැකිය. එය එතරම්ම සංකීර්ණ භයානක උවදුරකි.

සාමාජයීය බලපෑම්

ග්‍රෝ-ඔප්ස් නිවාස නිසා දැඩි සාමාජයීය ගැටලූ රැසක් ඇතිවිය හැකි බව පසුගිය කාලය පුරා සිදුකළ සමීක්ෂණ තුළින් ඔප්පු වී ඇත.

මෙවැනි නීතිවිරෝධී වගාවන් සිදුකරන බොහෝ පිරිස් සමාජ විරෝධී ක්‍රියාවන්ට හා නොයෙකුත් සාපරාධී ක්‍රියාවන්ට සහාය දක්වන්නන් බව පසුගිය වාර්තා සැලකිල්ලට ගැනීමේදී පෙනී යයි. නිතර අවි ආයුධ අත දරා සිටින මොවුන් වෙතින් ඕනෑම මොහොතක ඕනෑම අපරාධයක් සිදුවිය හැකිය. මීට අමතරව සිදුවිය හැකි හානි පිළිබඳ මෙසේ දැක්විය හැකිය.

විෂ දුමාර – Poisonous Fumes

මිනිස් ශරීරවලට අහිතකර විෂ සහිත වායූන් මෙවැනි නිවෙස් තුළ ඇතිවිය හැකි අතර වා කවුළු තුළින් ඒවා පිටතට කාන්දු විය හැකිය. එවැනි විටෙක අවට පදිංචිකරුවන් වෙතද එයින් බලපෑම් එල්ල විය හැකිය.

ගිනි ගැනීම් – Fires

මෙම පැළෑටි වගා කිරීම සඳහා යොදාගන්නා අධික තීව්‍රතාවලින් යුත් විදුලි බල්බ නිසාත් නීතිවිරෝධීව සිදුකරනු ලබන විදුලිය ලබාගැනීම් නිසාත් මෙවැනි නිවෙස් තුළ හදිසි ගිනිගැනීම් තත්ත්ව ඇති වීම බහුලව සිදුවෙයි.

විදුලිසැර වැදීම – Electrocution

අත්දැකීම් රහිතව ප්‍රාථමික මට්ටමින් සිදුකරනු ලබන විදුලි රැහැන් ඇදීම් නිසා විදුලිසැර වැදී අනතුරට පත් වීම සිදුවිය හැකි අතර මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති අසල්වැසියන්ද මෙම අනතුරුදායක තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.

උගුල් ඇටවීම – Booby Traps

මෙවැනි නීති විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයින් සෑම විටම බියෙන් සහ සැකයෙන් පසුවීම සාමාන්‍ය තත්ත්වයකි. තම වගාව වෙනත් අපරාධකරුවකුගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මාරාන්තික උගුල් ඇටවීමට ඔවුහු නිරතුරුව හුරුව සිටිති. මෙවැනි උගුල් නිසා අසරණයන්ද අමාරුවේ වැටුණු අවස්ථා පිළිබඳ පසුගිය කාලයේ වාර්තා විය.

පරිසර පද්ධතියට සිදුවන හානිය – Environmental Damage

මෙම පැළ තවාන්වල වර්ධනය, කෘමි මර්දනය වැනි කටයුතු වෙනුවෙන් රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම නිරතුරුව සිදුවන්නකි. එසේ යොදනු ලබන රසායනයන් පැළවලට දමන ජලය හා එකතු වී නිවසින් පිටතට ගලා එAම සාමාන්‍යයෙන් සිදුවන්නක් වන අතර එවිට නිවෙස අවට පිහිටි භූමිය නිරන්තරව දූෂණයට ලක් වේ. ඇතැම් විට මෙය ජල පද්ධතිය වෙතද එක් වීම සිදුවිය හැකිය.

වැඩෙන දරුවන්ට අනතුරුදායක වීම – Children at risk

ඉහත කරුණු සියල්ලම මෙවැනි පරිසරයක් තුළ සහ අවට වැඩෙන දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සෞඛ්‍ය වෙත අහිතරකර ප්‍රතිඵල ගෙන ආ හැකි වෙයි. මීට අමතරව මෙවැනි නිවෙස් තුළ හැදෙන වැඩෙන දරුවන් තුළ අසාමාන්‍ය ප්‍රචණ්ඩකාරී ගතිගුණ ඇති වීම, ඛෙලහීන තත්ත්වයන් ඇතිවීම, සාපරාධී ක්‍රියාවන්ට එක්වීම ආදිය දැකිය හැකි වෙයි. මෙවැනි තත්ත්වයන් මතුවීම තුළින් දීර්ඝකාලීනව විපාක ගෙන දෙන උග්‍ර සාමාජයීය ගැටලූ මතු විය හැකිය.

ග්‍රෝ-ඔප්ස් නිවසක් ඔබ අවට ඇති බව හඳුනා ගැනීම

yuනීතිවිරෝධි පැළෑටි වගාකරනු ලබන ගෘහස්ථ තවාන් සහිත නිවෙස් ඔබ නිවෙස අවට පිහිටා ඇත්නම් එය ඔබගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට සිදුකරනු ලබන තර්ජනය කෙතෙක්ද යන්න ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යයි. එම නිසා මෙවැනි ක්‍රියාවන් සෑමවිටම පිටුදැකීම අපගේ වගකීම මෙන්ම යුතුකමද වෙයි.

නමුත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ මේ ආකාරයේ නීතිවිරෝධි සිදුකිරීම් අප අවට ඇත්දැයි වටහා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා සිදුකළ යුතු හොඳම දෙය වන්නේ වටාපිටාව පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී පහත දැක්වෙන ආකාරයේ වෙනස්කම් ඔබ අවටත් සිදුවේදැයි සොයා බලන්න.

  • යම් නිවෙසක් තුළට නිතර නිතර බොහෝ රෑ බෝ වීත් අසාමාන්‍ය අයුරින් අමුත්තන් පැමිණීම
  • නිවැසියන් ගෙට පිවිසීම හා ඇතුළු වීම නිරතුරුව ගරාජය තුළින් සිදුකිරීම
  • ගෙහිමියන් එම නිවසෙහි ඉතාමත් සුළු වේලාවක් පමණක් රැඳී සිටීම
  • අසල්වැසියන් හා කිසිදු ගනුදෙනුවක් හෝ ඇසුරක් නොමැතිව හුදෙකලාව පසුවීම
  • ගෙයින් පිටත සිදුකරන කටයුතු වන තණකොළ කැපීම, අයිස් සුද්ධ කිරීම ආදි කටයුතු සිදුනොකිරීම
  • සීත ඍතුව තුළදී අධික හිම පතනයකදී පවා යම් නිවසක වහලය මත හිම රඳා නොපැවතීම හෝ වහලයේ තැනින් තැන රවුම් ආකාරයෙන් හිම ඉවත් වී තිබීම (පැළෑටි වර්ධනය සඳහා යොදනු ලබන දැඩි තාපය නිසා මෙවැනි නිවෙස් තුළ දැඩි උෂ්ණත්වයක් පවතී. එම නිසා වහලයට වැටෙන හිම ක්ෂණයකින් දිය වී යයි. පොලිස් හෙලිකොප්ටර් සේවය විසින් මෙවැනි නිවාස වැටලීමේදී මෙම සංඥාව ඛෙහෙවින් උපයෝගි කර ගනියි)
  • වැඩිපුර වා කවුළු හා ෆෑන්ස් (fans) ආදිය සවිකරන ආකාරයක් දිස් වීම
  • විද්‍යුත් පරිපථය තුළින් යම් ශබ්දයක් (humming) පිටවෙන බවක් දැනීම
  • විදුලි මීටරය අසල සිදුකරනු ලබන වෙනස්කම් ආදිය (මෙම පැළෑටිය මනාව වර්ධනය වීම සඳහා අධික උෂ්ණත්වයක් අවශ්‍ය වන අතර ඒ සඳහා එකක් වොට් 1000 කට අධික ධාරිතාවකින් යුත් විදුලි බුබුළු රැසක් යොදා ගැනේ. මෙවන් විටෙක විදුලි බිල ඉහළ යාම නිරායාසයෙන් සිදුවන්නක් හෙයින් එය වැළැක්වීම සඳහා විදුලි මීටරයට නොයෙකුත් අන්දමේ බාධා කිරීම් සිදු කළ හැකිය)
  • අසාමාන්‍ය ලෙස විදුලි රැහැන් ඇදීම (වැය වන විදුලිය පොදු විදුලි මාර්ගවලට නීතිවිරෝධීව යොදනු ලබන රැහැන් මගින් ලබා ගැනෙයි)
  • ග්‍රීෂ්ම ඍතුවේදී පවා යම් නිවෙසක ජනෙල් මත ජලය ඝනීභවනය වීමක් සිදුවී තිබීම (මෙවැනි නිවාස තුළ ඇති දැඩි ආර්ද්‍රතාවය නිසා මෙය සිදුවෙයි)
  • නිවසෙහි ජනේල ඝන අඳුරු තිර හෝ කඩදාසි ආදියෙන් ආවරණය කර තිබීම
  • කිසියම් නිවසක් තුළින් Skunk සතෙකුගේ ගඳට සමාන දුගඳක් වහනය වීම (කංසා පැළෑටිය වැඩීමත් සමග මෙවැනි දුර්ගන්ධය විටින් විට ඇතිවිය හැකියි)
  • අසාමාන්‍ය ලෙස කැළි කසල ඉවතට දැමීම හෝ කිසිදු කැළි කසලක් පිටතට නොදැමීම (මෙවැනි නිවෙස්වල වාසය කරන බොහෝ දෙනෙක් තම කැළිකසල පොදු ස්ථාන කරා වාහනවල පටවාගෙන ගොස් දැමීම සිදුකරනු ලබයි. කැළි කසල ඉවත දමයි නම් ඒවා අතර හිස් පැළ බඳුන්, පරණ පස්, පොහොර හෝ පොහොර බෑග්, වයර්, පී.වී.සී. පයිප්ප ආදිය තිබිය හැකිය)
  • ඔබ අවට නිවසක ‘Beware of Dog’ සලකුණ යොදා තිබීම (මෙම සලකුණ මගින් අනවසර ඇතුල්වීම් ඉබේම වැළැක්වීම සිදුවේ. එමෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන් නොමග යැවීමටත් ඔවුන් මෙය යොදාගනු ලබයි)

 

ඉහත අන්දමේ සිදුවීම් හෝ අවස්ථා තුනකට වැඩි සංඛ්‍යාවක් ඔබ අවට නිවසක් තුළින් සිදුවේ නම් එය සැක කටයුතු තත්ත්වයකි.

ලබන කලාපයෙන් ග්‍රෝ-ඔප් නිවසක් මිල දී ගැනීම තුළින් ඔබට සිදුවන ආර්ථීක අලාභ හානි සහ ග්‍රෝ-ඔප් නිවාස පිළිබඳව ඔබගේ දේපළ වෙළඳාම් නියෝජිතයා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post