මධ්‍යසාර ඉතා අතීත කාලයක පටන්ම භාවිතයට ගන්නා ලද ද්‍රව්‍යයකි. එය විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ලද අතර එය ඉතාමත් ප්‍රචලිත වී ඇත්තේ මත් වීමට උපයෝගි කර ගන්නා පානයක් ලෙසයි. එය රසායනාගාර තුළ විවිධ කර්තව්‍යයන් සඳහා භාවිත කරන අතර ඖෂධයක් ලෙසත් උපයෝගි කරගෙන ඇති අවස්ථා තිඛෙනවා. රසායනාගාර තුළ භාවිත කරන මධ්‍යසාර ඉතා ඉහළ ප්‍රතිශතයක් ගන්නවා. ලෝකයේ වැඩියෙන්ම මධ්‍යසාර භාවිත කරන්නේ පානය කිරීම සඳහායි. මේ මධ්‍යසාර භාවිතයේ හොඳ වගේම ඉතා අහිතකර ප්‍රතිඵලත් තිඛෙනවා. ඒ අනුව අද කලාපයෙන් මත්පැන් මත් වීමට ගැනීමෙන් ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන අයුරු සලකා බලමු.

මධ්‍යසාරයේ ඇතැම් ඖෂධ ගුණාංග පවා දක්නට ලැඛෙනවා. ඒ අනුව ඕනෑම ඖෂධයක වගේම තමන් ගන්නා මාත්‍රාව අනුව එයින් ලැඛෙන ගුණ සහ අගුණත් තීරණය වෙනවා. බොහෝ දෙනෙක් භාවිත කරන මත් ද්‍රව්‍ය අතරට බීර, වයින්, අරක්කු වගේ විවිධ බීම වර්ගවල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය වෙනස් වෙනවා. මේ සඳහා සම්මත බීම ඒකකයක් භාවිත කරනවා. විවිධ රටවල නිපදවන විවිධ මධ්‍යසාර පිළියෙල කරන ආකාරය සහ වෙළඳ නාමය අනුව අඩංගු මධ්‍යසාර ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සුරක්ෂිත මට්ටමකට කොතරම් මධ්‍යසාර පානය කළ හැකිද යන්න පර්යේෂණ මගින් ඔප්පු කිරීමට උත්සාහ දරා තිඛෙනවා.

ඔබ ගන්නා මධ්‍යසාර ප්‍රමාණය ඔබ පිරිමියෙක්ද? ගැහැනියක්ද? ඔබේ බර කුමක්ද?  ඔබ කොතරම් නීරෝගී පුද්ගලයෙක්ද?  ඔබේ අක්මාව ක්‍රියා කරන ආකාරය කෙසේද? ඔබේ වයස කුමක්ද? සහ ඔබ කෙතෙක් වෙහෙසට පත් වී සිටීද?  යන්න මත තීරණය වෙනවා.

මොකක්ද මේ සම්මත බීම එ්කකයක් (Standard alcohol drink) කියල කියන්නෙ?

සම්මත බීම එ්කකයක් කියන්නෙ මධ්‍යසාර ග්‍රෑම් 13.6 ක ප්‍රමාණයක්.  ඒ කියන්නෙ 12% මධ්‍යසාර අඩංගු වයින් අවුන්ස 5ක් (142 ml) රම් ප්‍රමාණයක්. එහෙමත් නැත්තම් 5% ප්‍රමාණයක් පවතින බීර අවුන්ස 12 (341 ml)  ප්‍රමාණයක්. මෙය සුළු වශයෙන් රටින් රටට වෙනස් වෙන්න පුළුවන්.

ඔබට කොතරම් ප්‍රමාණයක් නිර්දේශිතද?

නීරෝගි වැඩිහිටි පිරිමියෙක් සඳහා දවසකට ඒකක 2 ක් දක්වා වූ ප්‍රමාණයක්ද, නීරෝගී වැඩිහිටි කාන්තාවක් සඳහා දවසකට එ්කක 2 ක් දක්වා වූ ප්‍රමාණයක්ද ඔබ රෝගී තත්ත්වයකට පත් නොකෙරෙන බව පරීක්ෂණ මගින් පෙන්වා දී තිඛෙනවා. තවත් විදියකින් කියනවා නම් සතියකට නීරෝගි පිරිමියෙක් එ්කක 14 කට අඩු ප්‍රමාණයක්ද, කාන්තාවක් නම් එ්කක 7 කට අඩු ප්‍රමාණයක්ද ඉක්මවා නොයා යුතු වෙනවා. ඒ කියන්නෙ ඔබ ඉතා නීරෝගි පුද්ගලයෙක් නම් පමණයි. මත් පැන් පාවිච්චි කරන උදවිය සහ ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුන් කොතරම් ප්‍රමාණයක් දිනකට, සතියකට සහ මාසයකට බීමට ගන්නවද යන බව දන්නවා ඇති. අලුත්ම පර්යේෂණ අනුව කාන්තාවන් දිනකට ඒකක 1 ක ප්‍රමාණයක් භාවිත කිරීම පවා පියයුරු පිළිකා වැනි රෝග ඇති කරවන බව පෙන්වා දෙනවා.

මත්පැන් ඔබේ මොළයට බලපාන්නේ කෙසේද?

අධික මත්පැන් භාවිතයෙන් ඔබේ මොළයේ සෛල මිය යන්න පටන් ගන්නවා. ඔබ යන්තම් මත්පැන් ප්‍රමාණයක් ගත්තත් මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වෙනවා. ඒ වගේම මොළයෙන් පාලනය කරන විවිධ ක්‍රියාදාම ක්‍රියා විරහිත වීමක් සිදුවෙනවා. එදිනෙදා ජීවිතයේ අපි සමාජයට නොපෙන්වන පැත්තක් අපට පාලනය කරගත නොහැකි විදියට ඉදිරියට එනවා. ඔබ සමාජයට මුහුණ දීමට ලජ්ජාශීලි අයෙකු නම් ඒ ගති තරමකට මග හැරී යනවා. එය සමහර විට තරමක් වාසිදායක වන්නත් පුළුවන් නමුත් මේ හිතකර තත්ත්වය පවතින්නේ ඉතාම ටික කාලයකට පමණයි. ඔබේ ශරීරයේ මධ්‍යසාර සාන්ද්‍රණය ටිකෙන් ටික වැඩි වීමත් සමගම ඔබ සමාජයට සඟවාගෙන සිටි ඔබේ තිරිසන් ගති ඉදිරියට ඒමටත් ඔබේ මහාත්මා ගති ක්‍රමයෙන් සැඟවී යාමටත් පටන් ගන්නවා. මේ සියල්ල හරියටම කුලෑටි සතෙක් තෝන් ලණුවකින් පාලනය කරන ආකාරය බිඳ වැටීමකට සමාන කරන්න පුළුවන්. ඔබ ඉතාමත් සැලකිලිමත් නුවූවහොත් ඔබේ මෙම ගති පාලනය කර ගැනීමට නොහැකි වෙනවා.

ඒ වාගේම දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ මත්පැන් භාවිතය නිසා ඔබ නිසි ආහාර ගැනීමකින් තොර වෙනවා. මේ මධ්‍යසාර ගැනීම නිසාත් ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීමත් යන දෙකම නිසා, ඒ වගේම මොළයේ ශෛල මිය යාමට පටන් ගැනීම නිසාත් මොළයේ අවශ්‍ය කොටස් හැකිලීමට පටන් ගන්නවා. මොළය හැකිලීම නිසා මොළයත් ඒ අවට ඇති පටක සිවිත් අතර අවකාශය වැඩි වෙනවා. මෙවන් අවස්ථාවක මොළය වටා පිහිටි රුධිර නාල කැඩී යාමට අවස්ථා එළඹෙනවා. අධික මත්පැන් භාවිතය නිසා එහෙට මෙහෙට හැප්පෙමින් ඇද වැටෙන මිනිසුන් ඔබ දැක ඇති කියා මා සිතනවා. මේ වැටීම නිසාත් මොළයේ නහර කැඩී බිඳී යාමේ අවකාශ වැඩි වෙනවා. අන්න එවන් අවස්ථාවලදි මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිද්ධ වෙනවා. මෙය ඉතාමත් භයංකාර තත්ත්වයක් වන අතර බොහෝ විට ශල්‍යකර්මයක් කිරීමට සිදුවෙනවා. ශල්‍යකර්මයක් සිදු කළත් මධ්‍යසාර ආශ්‍රිත අනෙකුත් රෝගවලින් ඔබ පෙලෙන නිසා ලේ කැටි ගැසීමේ හැකියාව අඩු වීමෙන් යළි යළිත් මොළයට ලේ ගැලීමක් ඇතිවීමටත් නැවත නැවත ශල්‍යකර්ම කිරීමට සිදුවීමක් වෙන්නත් පුළුවන්.

මත්පැන් ඔබේ අක්මාවට බලපාන්නේ කෙසේද?

ඔබේ ශරීරයට ඉතාම ස්වල්ප ප්‍රමාණයකට වඩා මත්පැන් වැටෙන විට ශරීරය ඔබේ ගතට විෂ ද්‍රව්‍යයක් ඇතුළු වූවයි සිතා කටයුතු කරන්න පටන් ගන්නවා. ඔබ මත්පැන් ගත් විට එහි අවශෝෂණය ඔබේ මුඛයේදීම ආරම්භ කරනවා. ඊළඟට ඔබේ ආමාශය තුළදී එය හොඳින් අවශෝෂණය කර ගන්නවා. මේ මධ්‍යසාර භාවිතයට ගත හැකි ශක්ති ප්‍රබෝධයක් හැටියටත් එහි විෂ නැති කිරීමේ කාර්යයත් පැවරෙන්නේ අක්මාවටයි. එ් නිසා පමණට වඩා මත්පැන් ගැනීමෙන් එහි විෂ නැසීමට ගොස් වඩාත්ම රෝගී වන්නේ ඔබේ අක්මාවයි. අක්මාව එහි තෙල් තැන්පත් වීම නිසා එන්න එන්නම ලොකු වෙනවා. මේ තෙල් තැන්පත් වීම නිසා එයින් කෙරෙනා එදිනෙදා අත්‍යවශ්‍යම කාර්යයන් සිදුකිරීම අතපසු කරනවා. මේ අක්මාවේ තෙල් තැන්පත් වීම මධ්‍යසාර ගැනීමෙන් කාලයක් වැළකී සිටීමෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වෙයි. නමුත් මේ අවස්ථාවේ යමෙක් මරණයට පත් වීමේ අවදානමක් පවා පවතිනවා. මේ අවස්ථාව අපි fatty liver or fatty metamorphosis of liver කියා හඳුන්වනවා.

ඔබ දිගින් දිගටම මත්පැන් භාවිත කළොත් අක්මාවේ ශෛල මිය යන්න පටන් ගන්නවා. මේ මිය යන ශෛල නැවත වරක් සම්බන්ධක පටක නම් වෙනත් පටක වර්ගයකින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඊට පස්සෙ අක්මාව ඝණ වෙන්න පටන් ගන්නවා. අපි ඒ අවස්ථාවට fibrosis of liver කියලා හඳුන්වනවා. තවදුරටත් මත්පැන් ගැනීම කරගෙන ගියහොත් අක්මාවේ කුඩා ගෙඩි ඇති වීමට පටන් ගන්නවා. එයට අපි සිරෝසිස් (cirrhosis of liver) කියල හඳුන්වනවා. මෙවන් තත්ත්වයකට පත් වීමෙන් අක්මාව කවදාවත් යථා තත්ත්වයට පත් වන්නේ නැහැ. මේ සිරෝසිස් කියන රෝගයේ සංකුලතා නිසා යමෙක් මිය යනවා. ඒ සඳහා නැවත අක්මාවක් බද්ධ කිරීම සිද්ධ වෙනවා. මේ සිරෝසිස් රෝගය සමහරෙකුට යන්තම් මත්පැන් ගත්තද ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් හේතුන් නිසාත් මේ සිරෝසිස් හැදෙන්න පුළුවන්. සමහර විට මත්පැන් සුළු වශයෙන් හෝ නොගන්නා සංඝයාවහන්සේ නමකට පවා මේ සිරෝසිස් රෝගය ඇතිවෙන්න පුළුවන්. සමහරු ඇත්ත තත්ත්වය නොදැනීම නිසා සිරෝසිස් රෝගය ඇතිවන ඕනෑම කෙනෙක් මත්පැන් පානය කළ අයෙක් හැටියට සමාජයේ දෝෂාරෝපණයට ලක් විය හැකියි.

 

වෛද්‍ය ජයන්ත හේරත්

MD, DLM, MD (Forensic), FCAP, FRC
Forensic Pathologist at Provincial Forensic Pathology Unit (OFPS)
Assistant Professor at University of Toronto

Share this Post