ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී  තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය බොහෝම භක්තියෙන් දෙවියන් අදහපු කෙනෙක්. තමාගේ අවසන් මොහොත එළඹ ඇති බව සිතූ ඇය දෙවියන්ට කන්නලව් කිරීමට පටන් ගත්තලු.

“දෙවියන් වහන්ස, ඔබ මට කළ සෑම දෙයක් කෙරෙහිම මා කෘතඥ වෙනවා. මා දැන් බලවත් ලෙස රෝගීවයි පසුවන්නෙ. මට හිතෙනවා මා මෙයින් මිය යාවි කියා. ඒත් මා ඔබ කියන වචන විශ්වාස කරනවා. ඒ නිසා මා මේ අසනීපයෙන් මිය යාවිදැයි දැනගැනීමට ඇවසියි”

ඉතිං තමාගේ හොඳ බැතිමතියක් අසරණ වෙලා මේ විදියට විමසද්දි දෙවියන්ට නිහඬව ඉන්න බෑනේ. දෙවියන් මෙසේ පිළිතුරු දුන්නලු.

“බයවෙන්න එපා. ඔබ මේ අසනීපයෙන් මැරෙන්නෙ නෑ. සුව වී තව වසර 40 ක් විතර කරදරයකින් තොරව ජීවත් වීමට තරම් ඔබ වාසනාවන්තයි”

දෙවියන්ගේ වචන නිසා අර කාන්තාවට නව පණක් ලැබුනලු. ඇගේ ලෙඩ රෝගත් ඉක්මනින් සුව වුණාලු. ඔහොම ටික දවසක් යනකොට ඇයට තමා ගැන මේ විදියට හිතුනලු.

‘දැන් මට වෙනදටත් වැඩි සුවයක් දැනෙනවා. දෙවියො කිව්ව විදියට තව අවුරුදු 40 ක් පමණ ජීවත් වෙන්නත් පුළුවන්. ඒත් මගේ මේ මහලු පෙනුම මට හරිම වදයක්. තරුණ බවක් ලබාගෙන හැඩට රුවට ඉන්න තියෙනවා නම් කොපමණ අගේද?’

මෙහෙම හිතපු ඇය තරුණ රුවක් ලබාගන්න ඒ කටයුතු කරන රූපලාවන්‍යාගාරයක් සොයාගෙන ගියාලු. ගිහිං කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තරුණ පෙනුමක් අරගෙන හැඩ වැඩ වෙලා ඒකට සරිලන ඔමරි ගමනකුත් එක්ක පාරට බැස්සලු.

පාරට ඇවිත් අඩි දෙක තුනයිලු ගියේ. මහා සද්දෙන් ආපු වාහනයක් ඇයව යටකරගෙන ගියාලු. ඒ අනතුරින් ඇයට බරපතල ලෙස තුවාල සිදුවී මරණාසන්න වුණාලු. එහිදී ඇයට දෙවියන් කියූ වදන් සිහිවී දෙවියන් කෙරෙහි ලොකු තරහක් ආවලු.

“ඔබවහන්සේ මහා බොරු කාරයෙක්. මම අවුරුදු 40 ක් ජීවත් වෙනවා කිව්වා. ඇයි එහෙනම් මාව වාහනයකට යට කළේ. ඇයි ඒක වැළැක්වුවේ නැත්තෙ?” කියා දෙවියන්ට දෝෂාරෝපණය කළාලු.

“අහෝ පින්වතිය මේ ඔබද? මට ඔබ අඳුරගන්න බැරි වුණා… ඒ නිසා මට මුකුත් ඔබ වෙනුවෙන් කරන්න බැරි වුණා” දෙවියන් වහා පිළිතුරු දුන්නලු.

දෙවියන්ටවත් හඳුනාගත නොහැකි ලෙසින් වෙනස් වූ අසරණ බැතිමතිය නිහඬවම සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු කළාලු. 

අද කාලයේ ලවක් දෙවක් නැතිව තරුණ වෙන්න පෙනුම වැඩි කරගන්න දඟලන අපේ ඇත්තන්ටත් හොඳ පණිවුඩයක් ඉහත කතාවෙන් ගෙන එනවා. අපේ අනන්‍යතාව අප අවට සිටින්නන්ට කෙසේ වෙතත් දෙවියන්ට හෝ හඳුනාගත නොහැකි වුවහොත් දෙවියන් අතිනුත් ඔබට අවැඩ සිදුවිය හැකි ඉඩකඩ වැඩි බව මේ කතාව සනාථ කරනවා.

තරුණ වීම

ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව හැමෝම ලස්සනට ඉන්න කැමතියි. ලස්සන කියන දේ එක් එක්කෙනාට සාපේක්ෂව එක් එක් ආකාරයට දැකිය හැකි දෙයක්. අපේ රටේ සෑම කාන්තාවක්ම සුරූපිනියක් නොවුණත් කිසියම් සුන්දරත්වයකින් ප්‍රියමනාප බවකින් යුක්තයි. එහෙත් උප්පත්තියෙන්ම ලැබුණු රූපය පිළිබඳව ඇතැම් අය ඉන්නෙ දැඩි කණස්සල්ලෙන්. මෙහිදී ඔවුන් ස්වාභාවිකව ලැබුණු සිරුරේ වර්ණය හා සිරුරේ නොයෙකුත් අංගයන්ගේ ඇති හැඩයන් වෙනස් කර ගැනීම සඳහා විවිධ රූපලාවන්‍ය ක්‍රම, ප්ලාස්ටික් සැත්කම් ආදි ක්‍රමවලට යොමු වනවා.

කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැඛෙන අතර රූපාලංකාරයට මුල් තැන දෙන පිරිමි පක්ෂයද මෙවන් ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට නොපැකිලෙන බව පැවසිය යුත්තක්. විශේෂයෙන්ම වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් අතර සිරුරේ කොටස්වල හැඩය වෙනස් කර ගැනීමේ ශල්‍යකර්ම බහුලව දක්නට ලැඛෙන අතර වයසින් අඩු කාන්තාවන් බොහෝ විට රූපලාවන්‍ය ශල්‍යකර්මවලට යොමුවන්නේ සිය සිරුරේ වර්ණය වෙනස් කරගැනීමට බව නොරහසක්.

අවදානම

බොහෝ විට මේ ආකාරයේ රූපලාවන්‍ය ක්‍රම සහ සැත්කම් මිනිස් සිරුරට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව අකමැත්තෙන් වුවත් අපි පිළිගත යුත්තක්. වසර ගණනාවක් තිස්සේ තරබාරු වූ සිරුරක් දවසින් දෙකෙන් කෙට්ටු කර ගැනීමට සිතනවා නම් එය තරමක් අස්වාභාවික ක්‍රියාවක්. එමෙන්ම උපතින් අපට ලැබුණු ශරීර වර්ණය වෙනස් කරගන්නට සිතනවා නම් එයිනුත් අප ශරීරයට යහපත් ප්‍රතිඵල අත්වේ යයි සිතිය නොහැක. මේ ආකාරයෙන් සිරුරේ විවිධ කොටස් එනම් පියයුරු, උදරය, මුහුණෙහි කොටස් හා සිරුරෙහි විවිධ අංග අපට රිසි පරිදි වෙනස් කර ගැනීමට යාමෙන් යහපතට වඩා අයහපතක් සිදුවිය හැකි බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. බාහිරව කොතරම් පුම්බා ලස්සන කළත් අපගේ අභ්‍යන්තර අවයවයන් වයසට සමගාමීව මහලූ වීම නිසා කෙතෙක් තරුණ ලෙස සිටීමට වෑයම් කළත් ඒ කිසිවකින් පළක් නොවේ.

එමෙන්ම මෙවැනි සැත්කම්වලට ලක්වන්නන් ජීවිතේටම එක් වරක් පමණක් මෙම තරුණ වෙන සැත්කමක් කර ගතහොත් එය සදාකාලික යැයි සිතීමද මුලාවක්. මන්ද යත් මේ ආකාරයේ රූපලාවන්‍ය සැත්කම් සඳහා කල් ඉකුත් වීමේ දිනයක් ඇති බැවිනි. ඒ ආකාරයෙන් කල් ඉකුත් වූ පසු සිරුරේ මතුවන රැළි, නැමි දිග හැරීම සඳහා නැවත නැවතත් සැත්කම්වලට භාජන වීමට සිදුවේ. එසේ නොකළහොත් ස්වභාවිකව වයසට යාමට මුහුණ දෙන අයෙකුට වඩා වැඩියෙන් ශල්‍යකර්ම කරගත් අයගේ ශරීර දිරාපත්වී තිඛෙන බව පැහැදිලිව දැකගත හැක.

සුදු වීම සඳහා ශරීරයට එන්නත් විඳීම අද බහුල ලෙස සිදුවන්නක්. මෙම එන්නත් මිලෙන් අධික වන අතර ඉතාමත් කෙටි කලකින් සම සුදු පැහැයට හැරීමද සිදුවන බව කිවයුත්තක්. එසේම වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් එක් එන්නතක් විද සති දෙකක් ඉක්ම යන විට අනෙක් එන්නතත් ලබාගත යුතුයි. එහෙත් විශාල වියදමක් දරා විද ගන්නා එන්නත් මගින් ඔබගේ සිරුරෙහි ක්ෂණික සුද රඳා පවතින්නේ වසරක් වැනි කාලයක් පමණි. සුදු පැහැති සම රඳවා ගැනීමට නම් දිගින් දිගටම එම එන්නත් ලබා ගත යුතු වේ. ඒ වගේම බ්ලීචිං ක්‍රීම් නමින් හඳුන්වන ප්‍රතිකාරය මගින්ද හම සුදු කිරීම කරතත් එයද තාවකාලික ප්‍රතිකර්මයක් වේ.

මේ ආකාරයේ අස්වාභාවික ලෙස සම සුදු කරන බොහෝ ආලේපන හා එන්නත් මගින් අපගේ ශරීර සෞඛ්‍යයට බාධා ඇතිකරන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති කරුණක්. සම සුදු කිරීම සඳහා වෙළඳපළේ ඇති බොහෝ ෆෙයාර්නස් ක්‍රීම්වල ‘රසදිය’ නමැති රසායනික සංයෝගය අඩංගුව ඇති බව ආලේපන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් කළ පර්යේෂණයකින් සොයාගෙන ඇත. රසදිය මගින් සම මත ඇති මෙලනින් වර්ණකය අවම කිරීම සිදු කරයි. මෙම රසදිය අඩංගු ආලේපන දීර්ඝකාලීනව භාවිතය සමේ පිළිකා ඇති කිරීමට ඍජුවම බලපායි. ඒ වගේම සුදු කිරීමෙන් සමට වන හානිය නිසා සමෙහි අධික සංවේදී බවක් ඇති වීම, සම රතු වීම, සම කැසීම, සම ඉදිමීම, සම තුනී වීම, සම ඉක්මනින් එල්ලා වැටීම, තිබුණු තරුණ බවද ඉක්මනින් වියැකී යාම, මෙලනින් ස්තරය පිච්චී යාම නිසා අව්වට ඔරෝත්තු නොදීම, සමේ ලප ස්වභාවයක් ඇතිවීම ආදි ගැටලූ ඇති වේ. මීට අමතරව රසදිය අඩංගු ආලේපන සිරුර අභ්‍යන්තරයට උරා ගැනීමෙන් දියවැඩියාව, මානසික ආතතිය, වකුගඩු රෝග, අක්මාව ආශ්‍රිත රෝග, ඇදුම හා ස්නායු ආශ්‍රිත රෝගවලටද පහසුවෙන් ගොදුරු විය හැක.

පෙර සඳහන් කළ සුදු වීමේ එන්නත ලබා ගැනීම ඍජුවම සිරුරෙහි අභ්‍යන්තරයට හානි පමුණුවයි. යම් ඖෂධයක් එන්නතක් ලෙස ශරීරයට ලබා දීමෙන් පසු එය අපගේ ශරීර අභ්‍යන්තරය හා ක්ෂණිකව ක්‍රියාත්මක වන බව ඔබ දන්නා කරුණකි. මෙහිදී කෑම රුචිය වැඩිවීමෙන් සිරුර අනවශ්‍ය ලෙස මහත් වීම, පිළිකා වැනි රෝග ඇති වීම, වකුගඩු, අක්මා ආදි ඉන්ද්‍රියයන්ට බලපෑම් සිදුවීම විය හැකියි.

ජීවිතයෙන් වන්දි ගෙවන්නෝ

ඉහත දැක්වූ ලෙස විවිධ ආකාරවලින් තරුණ බව රඳවාගැනීමට උත්සාහ දැරූ බොහෝ දෙනෙක් ඉතාමත් අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ පෑ පුවත් දිනෙන් දින ලෝකයේ දසතින් අසන්නට දකින්නට ලැඛෙයි.

මෙහි ආසන්නතම සිදුවීම පසුගියදා අපේ රටෙන් වාර්තා වූ අතර එහිදී ඇස් යට ඇති රැළි ඉවත් කරගැනීමට ගිය 47 හැවිරිදි වෛද්‍යවරියකට මරු වැළඳ ගැනීමට සිදුවිය. මේ සිදුවීමත් සමග එම ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයාගේ තත්ත්වය තරාතිරම ගැන නොයෙක් මත, අදහස් පළවෙමින්, හෙළිවෙමින් පවතී. සමාජයේ ඉහළ තලයක වැජඹෙමින් රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින්, රට පිළිගත් ප්‍රභූන්, නළු නිළියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ රූපවල ඇද කුද හරිගස්සමින් 2009 සිට ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ මෙම තැනැත්තාට ඒ පිළිබඳව නිසි සුදුසුකම් නොමැති බව හෙළිකර ගැනීමට බලධාරීන් මෙතෙක් කල් ගත්තේ කවුරුන් හෝ මැරෙන තුරුද යන්න අපට ඇතිවන සාධාරණ පැනයක්.

ඒ වගේම අපේ රටේ රූපය හදාගන්නට ගොස් මැරුණු එකම තැනැත්තිය මෙම වෛද්‍යවරිය පමණක් නොවේ. මින් පෙරද එවැනි අනතුරු කීපයක් වාර්තා වූ අතර, 2009 වසරේදී තරබාරු බව අඩු කිරීම සඳහා කළුබෝවිල රෝහලේදී සිදුකළ ීකැැඩැ ට්ිඑරුජඑදපහ සැත්කමින් රත්නපුර ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියක මිය යෑමත් 2013 වසරේදී එම රෝහලේදීම සිදුකළ එම සැත්කමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මිය යෑමත් දැක්විය හැකිය. තවද 2011 වසරේදී මීගමුව ප්‍රදේශයෙන්ද මෙවැනි අවාසනාවන්ත මරණයක් වාර්තා වූ අතර එහිදී රූපලාවන්‍යාගාරයකදී මුහුණ සුදු කිරීමට තැවරූ බ්ලීචිං ක්‍රීම් වර්ගයක් අසාත්මික වීමෙන් පාසල් ගුරුවරියක් මිය ගොස් තිබුණි. අප කවුරුත් හොඳින් දන්නා ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියගේ මරණය සිදුවූයේද කේෂ වර්ණකයක් ගැල්වීමෙන් වූ අසාත්මිකතාවක් හේතුවෙනි.

2011 වසරේදී ටොරොන්ටෝවෙන්ද මෙවැනි අවාසනාවන්ත මරණයක් වාර්තා වූ අතර එහිදී උදරයේ මේදය ඉවත් කර ගැනීම සඳහා වූ liposuction නම් ශල්‍යකර්මය අතරතුර මිය ගොස් සිටියේ 32 හැවිරිදි දේපළ වෙළඳාම් අලෙවි නියෝජිතවරියකි. උතුරු ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වල බොහෝ දෙනෙකු මෙවැනි අහිතකර රූපලාවන්‍ය සැත්කම්වලට පෙළඹී ඇති බව වාර්තා වන අතර ඒ නිසාම මරණය සිදුකරගත් පිරිස මෙන්ම ජීවිත් වෙන තුරු විඳවිය යුතු රෝගාබාධයන්ට ගොදුරු වූවන්ද විශාල ප්‍රමාණයක් සිටින බව හෙළි වී ඇත.

දෑත් දෙපා සහ සිරුරේ පසුපස ප්‍රදේශය වඩාත් අලංකාර කර ගැනීමට ගිය ඇමරිකාවේ දෙදරු මවකට සිය දෑත් දෙපා අහිමි වූ අවාසනාවන්ත පුවත අපට වාර්තා වූයේ 2013 වසරේදීය. එහිදී Filler නමින් හඳුන්වන එන්නත් ක්‍රමය ලබාගැනීමෙන් පසු ඇයට මෙම අභාග්‍ය සම්පන්න ඉරණම උදා විය. පසුව සොයා බැලීමේදී හෙළිව ඇත්තේ මෙම එන්නත බාල වර්ගයේ නිපැයුමක් බවත් වැසිකිළි නළවල කාන්දු වැළැක්වීමට යොදන සිලිකන් වර්ගයක් යොදා එය නිපදවා ඇති බවත්ය. ලස්සන වෙන්න හිතාගෙන ලබාගත් එන්නත නිසා ඉතාමත් අසීරු තත්ත්වයකට පත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් හට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති අතර ඒ සඳහා ශල්‍යකර්ම 27 කට මුහුණ දීමට මෙම තැනැත්තියට සිදුවී ඇත.

මේ අතර 2012 වසරේදී පළ වූ වාර්තාවකින් දැක්වුණේ කෘත්‍රිම පියයුරු බද්ධ කිරීම සඳහා වූ ශල්‍යකර්මයට භාවිත කරනු ලැබූ සිලිකන් ජෙලි වර්ගයකින් නිම කළ කෘත්‍රිම පියයුරු සෞඛ්‍යයට අහිතකර වූවක් බවය. ඒ වන විටත් වසර 13 ක් ලොව පුරා කාන්තාවන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මෙම නිෂ්පාදනය යොදාගෙන තම පියuuuuයුරු සකසාගෙන තිබුණි. මෙම කෘත්‍රිම පියයුරු සකසන සිලිකන් ජෙලි වර්ගය මෙට්ට සෑදීම සඳහා භාවිතයට ගන්නක් බවත් එය ප්‍රංශයේ බංකොලොත් සමාගමක් වූ PIP හි නිපැයුමක් බවත් හෙළිදරව් විය. ඒ සමගම මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකළ වෛද්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් එම පියයුරු බද්ධ කරගත් කාන්තාවන්ට ඒවා ඉවත් කරගන්නා ලෙස විවෘත පණිවිඩයකින් දැනුම් දීම සිදුකර තිබුණි. මේ දැනුම් දීමත් සමග බොහෝ කාන්තාවන් සිය කෘත්‍රිම පියයුරු නැවතත් සැත්කමක් මගින් ඉවත් කරගැනීමට කටයුතු කර තිබූ අතර කෘත්‍රිම පියයුරු ලක්ෂ ගණනක්  PIP සමාගම් දොරකඩ ගොඩගසා තිබුණු අයුරුද දක්නට ලැබුණි.

මේ සියලූ දේ දෙස විමසිල්ලෙන් බැලීමේදී පෙනී යන්නේ ලස්සන සැම දේ-මොහොතක සුව දේ, එහි කෙළවර – දුක වේ යන සනාථන දහම බොරු නොවන බවයි. ‘ළදරු විය – තරුණ විය – මැදි විය – මහලු විය’ මේ චක්‍රය වෙනස් කිරීමට මෙලොව උපන් කිසිවෙකුටත් නොහැකි විය. එනිසා සදාකාලික තරුණ බවක් පතා ජීවිතය පරදුවට තැබීම එක්තරා ආකාරයක විහිළුවක් නොවන්නේද?

 

සටහන – චමරි අබේසිංහ

Share this Post