මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනාවෛරස ආසාදිත මරණ සංඛ්‍යාව අද දින (07) වාර්තා විය. පුද්ගලින් 19 දෙනෙකුගේ මරණ එසේ වාර්තා වූ අතර ඔවුන් අතරින් 14 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව එහි සටහන් කොට ඇත. අද (07) දිනය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1895 කි. ඒ සමගම රට තුළ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,21,338 ක් ලෙස ඉහළ ගොස් තිබුණි.  එම සමස්ත ආසාදිතයින් අතරින් 764 දෙනෙකු මිය ගොස් ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,916 කි.

රටෙහි සෑම ප්‍රදේශයකින්ම කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යෑමත් සමග දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන්වල හිඟයක් මතුව ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසා සිටී.. එම තත්ත්වය මත හෘද රෝග සැත්කම්වලට භාජන කරන රෝගීන් වෙනුවෙන් වෙන් කොට ඇති දැඩි සත්කාර ඒකකයේ ඇඳන්ද කොවිඩ් රෝගීන්ට ලබා දීමට සිදුවිය හැකි බව ඒ මහතා පවසයි. එසේම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව රටෙහි රෝහල් ධාරිතාව ඉක්මවා ගියහොත් ඇතැම් රෝගීන්ව නිවෙස්වලම රැඳවීමට සිදුවිය හැකි බවත් එසේ නිවෙස්වල රඳවන රෝගීන් සඳහා අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් මේ වන විටත් සකස් කරමින් පවතින බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා ඇත.

මොරටුව මහ නගර සභා ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ට රෝහලක ඇදක් ලැබෙන තුරු රැඳී සිටීමට මොරටුව පුස්තකාලයේ තුන් මහල් ගොඩනැගිල්ලත් මහ නගර සභාවේ ගිලන් රථයත් වෙන් කරන ලද බවට සඳහන් පුවතක්ද අද දින වාර්තා විය.  ඇඳන් දහයකින් සමන්විත මෙහි දැනට රෝගීන් 19 දෙනෙකු රඳවා ඇති බවත් රෝහල් ලැබෙන ආකාරයට ඔවුන් පිටත් කර යැවීමට කටයුතු කර ඇති බවත් එම ප්‍රවෘත්තියේ සඳහන් විය.

කොරෝනාවෛරසය පැතිර යෑම වැඩි වීමත් සමග මේ වන විට රට පුරා සියලුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කොට ඇත. එසේම රට පුරා ඇති ජාතික උද්‍යාන, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන සංචාරක නිවාස, වන නිවහන් කඳවුරු බිම් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත. මේ වන විට රට පුරා ප්‍රදේශ කිහිපයක්ම හුදෙකලා තත්ත්වයට පත් කොට ඇති අතර අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් හුදෙකලා කිරීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබා දී ඇත. මීට වැඩි අවශ්‍යතාවක් ඇති වුවහොත් රට වසා දැමීමට හදිසි පියවර ගන්නා බව ඇමතිනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කොට සිටී.

 

මේ අතර  AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිස සඳහා දෙවන මාත්‍රාව දීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය සපුරා ගැනීමේ අපහසුතාව  ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති විශාල අර්බුදයකි. එම එන්නත නිපදවන ඉන්දියාවේ Serum ආයතනය මුහුණ දී ඇති තත්ත්වය හමුවේ ෙඑන්නත් සැපයීම නැවතී ඇති නිසා ශ්‍රී ලංකාවට ලබා දීමට අවශ්‍ය එන්නත් සොයාගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයටද අපහසුව ඇති බව එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග පවසා සිටී. කෙසේ වුවත් දෙවන මාත්‍රාව සඳහා එන්නත් සපයාගැනීමේ උත්සාහය අතහැර නොමැති බවද ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම නිල ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග එන්නත ලබාගැනීම සඳහා තමන් වීඩියෝ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. ඊට අවශ්‍ය සහයෝගය ඔහු විසින් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එම සටහනේ වැඩිදුරටත් දැක්වේ. දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලක්ෂ 6 ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

 

රුසියානු Sputnik කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව  අද (7) දින කොලොන්නාව ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 30ත් 60 ත් අතර ජනතාවට ලබා දීම ආරම්භ කර තිබූ අතර  ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන එන්නත බවට එම එන්නත යොදාගන්නා බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එහිදී පවසා ඇත. මෙම වසර තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 130 ක් ලංකාවට ලබාදෙන බව රුසියානු රජය සහ එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

මේ සමගම චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු Sinopharm එන්නත කොරෝනාවෛරස ආසාදිතයින් වැඩියෙන් හමුවන ප්‍රදේශවලට ලබන සතියේ සිට ලබාදීමට රජය තීරණය කර ඇත. එම එන්නතේ මාත්‍රා 600,000 ක් චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් වෙනුවෙන් එය ලබා දී තිබුණි.

Share this Post