පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය දහඅට හැවිරිදි සැමී යටිම්ගේ මරණය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ටොරොන්ටෝ පොලිස් නිලධාරි ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිර දඬුවමක් නියම විය.

හරියටම මින් වසර තුනකට ඉහත ටොරොන්ටෝවේ ස්ට්‍රීට්කාර් බස්රථයක් තුළදී  මගීන්ට හිරිහැර වන අන්දමින් හැසිරුණු යටිම් මෙල්ල කිරීම සඳහා පොලිසිය විසින් තැබූ වෙඩි ප්‍රහාරවලින් මෙම තරුණයා මරුමුවට පත් විය. යටිම් හට වෙඩි වැදුණු පසුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම මෙහිදී පොලිසියට නැගුණු විශාලතම චෝදනාව විය. එම අවස්ථාවේදී පොලිසිය හැසිරී ඇත්තේ දරුණු අපරාධකරුවකු මෙල්ල කිරීමට කටයුතු කරන ආකාරයෙන් බව මේ පිළිබඳව අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පවසා තිබුණි.

කෙසේ වෙතත් පොලිසිය විසින් වෙඩි තබන ආකාරයත් වෙඩි හඬත් සමගම ජංගම දුරකථනයක වීඩියෝගත වී තිබුණු අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු පොලිසියේ මේ ක්‍රියාව ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. යටිම් තරුණයාට වෙත වෙඩි ප්‍රහාර නවයක් එල්ල වී තිබුණු අතර මේ සම්බන්ධයෙන් සැක පිට ටොරොන්ටෝ පොලිස් සේවයේ නිලධාරියකු වූ ජේම්ස් ෆෝසිලෝ අත්අඩංගුවට ගනු ලැබුණි.

18 හැවිරිදි සැමී වෙත වෙඩි මුරයක්ම එල්ල කරමින් පොලිස් නිලධාරියා නීතිය පිළිබඳ මහජන විශ්වාසය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත් පොලිස් නිලධාරියකු ගිනි අවිය භාවිත කළ යුත්තේ අවසාන විකල්පය ලෙස පමණක්ම බවත් අධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබුණි.

තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උසාවියෙන් පිටතට පැමිණි යටිම් ගේ මව මාධ්‍ය අමතා කතා කළ අතර ඇය එම පොලිස් නිලධාරියා ගැන පැවසූවේ ‘ඔහු අපේ මුළු පවුලම විනාශ කළා. ඔහු අපේ ජීවිත විනාශ කළා. ඒත් ඔහු ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් පෙන්වූවේ නෑ’ යනුවෙනි. ‘මගේ පුතා අහිමි කළ නිසා මම පුදුම තරහකින් ඉන්නෙ. ඒත් මම මාව පාලනය කරගන්න උත්සාහ ගන්නවා’

Share this Post