කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබාගත් ෂීසෙල්ස් (Seychelles) රාජ්‍යයේ   පුද්ගලයන් තුනෙන් එකකට වැඩි පිරිසකට නැවතත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ කතා කෙරෙන මෙවැනි මොහොතක මේ ආකාරයේ පුවතක් වාර්තා වීම එරට සෞඛ්‍ය අංශවල මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේද දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු කරුණක් විය.

ඒ අනුව එරට කොරෝනාවෛරස දත්ත WHO සමාලෝචනයට ලක් කර ඇති අතර WHO ප්‍රධානියා ඊයේ (11) ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණි.

සීෂෙල්හි කොවිඩ් ආසාදිතයින් පිළිබඳ හෙළිවූ කරුණුවලට අනුව, මෙසේ නැවතත් කොරෝනාවෛරසය ධනාත්මක (positive) වී සහ කොවිඩ්-19 වැළඳ මිය ගිය බහුතරයක් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති අය බව WHO ප්‍රධානියා පවසයි. එන්නතෙන් පසු කොවිඩ් ආසාදිතව මිය ගිය කිසිවෙකුත් එන්නත් මාත්‍රා දෙකම ලබා නොමැති බව ඔහු පවසයි. නමුත් මේ තොරතුරු තවදුරටත් තහවුරු කරගැනීමට වැඩිදුර විමර්ශන කරමින් පවතින බවත් ඔහු පවසයි.  රෝගය නැවත නැවත වැළඳෙන කණ්ඩායම් පිළිබඳව තම නිලධාරීන් අඛණ්ඩව තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් එම දත්ත සලකා බලා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති ප්‍රවණතාවන් තේරුම් ගෙන ඊට පිළියම් යෙදීමට අදාළ රටවල් කටයුතු කළ යුතු බවත් WHO ප්‍රධානියා පවසා සිටියි.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ ෂීසෙල්ස් වැසියන් අතරින් සියයට 57 ක් චීනයේ Sinopharm එන්නතද සියයට 43 ක් AstraZeneca එන්නතද ලබා ඇත. එරට ජනගහනයෙන් සියයට 60 කට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබාදීමට රජය කටයුතු කර ඇත. සම්පූර්ණ ජනගහනය ලක්ෂයක් පමණ ජීවත් වන සීෂෙල්හි කොරෝනාවෛරස වසංගතය ආරම්භ වූ දා සිට මෙතෙක් තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 8,200 ක් පමණ වේ.

 

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නතට පසුගිය සිකුරාදා (7)  WHO අනුමැතිය හිමි වූ අතර බහුතරයක් ෂීසෙල්ස් වැසියන් එම එන්නත භාවිත කර ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

ෂීසෙල්ස් රාජ්‍යයට අමතරව අරාබි එමිරේට්ස් සහ බහරේනය ඇතුළු මැදපෙරදිග රටවල් රැසක් Sinopharm එන්නතට පූර්ණ අනුමැතිය ලබාදී ඒ රටවල වැසියන්ට එය ලබාදෙමින් පවතී. ඒ අතරට ශ්‍රී ලංකාවද අලුතින්ම එක්ව ඇත.

Sinopharm එන්නත චීනයේ ව්‍යාප්ත වූ කොරෝනාවෛරස ප්‍රභේද 3 ක් මූලික කර ගනිමින් නිපදවා ඇති අතර එයින් බහුලවම ව්‍යාප්ත වූ වෛරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

මෙතෙක් නිෂ්පාදනය කර ඇති සියලුම එන්නත්වලින් රෝගය පැතිර යාම යම් තරමක වළක්වන නමුත්  එය මුළුමනින්ම පාලනය නොකරයි. කොවිඩ්-19 සඳහා අනුමත එන්නතක් ලබා ගැනීමේ වැදගත්ම වන්නේ කොරෝනාවෛරසය වැළඳුනහොත් ඇතිවන දරුණු  රෝගී වීම් වළක්වා මරණයට ගොදුරු වීමේ ඉඩකඩ ඇහිරීමයි.

කිසිම එන්නතක් මගින් කොවිඩ්-19 රෝගය සම්ප්‍රේශණය වීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකි නිසා වැක්සීන ලබාගත් අයද සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, හොඳින් අත් සේදීම වැනි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි.

Share this Post