කල් ඉකුත් වීමේ දිනය ලබන සඳුදා (31) ලෙස සඳහන් කරන ලද AstraZeneca එන්නත් මාත්‍රා 45,000 ක කල් ඉකුත් වීමේ දිනය Health Canada විසින් මාසයකින් දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ රජය සඳහන් කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔන්ටේරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, Health Canada විසින් මෙම විශේෂිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණයෙහි ස්ථායිතා දත්ත සමාලෝචනය කිරීමෙන් පසු එම එන්නතෙහි මුලින් සඳහන් කර තිබූ මාස හයේ කල් ඉකුත් වීමේ දිනය මාස හත දක්වා දීර්ඝ කර ඒවා තවදුරටත් පරිභෝජනයට ගත හැකි එන්නත් ලෙස නම් කර ඇති බවයි.

ඒ අනුව 2021 මැයි 31 වැනි දින කල් ඉකුත් වීමේ දිනය සහිත එන්නත් මාත්‍රා 45,000  අලුත් කල් ඉකුත් වීමේ දිනයට අනුව 2021 ජූලි 01 දා දක්වා භාවිතයට ගත හැකි බව පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් පවසා සිටී.

2021 මැයි 27 වැනි දින ඇස්ට්‍රාසෙනෙකා වෙතින් Health Canada වෙත ලැබුණු ඉදිරිපත් කිරීමකට අනුව,  නිෂ්පාදන ස්ථායිතාව සහ ආකෘතිමය දත්ත සලකා බලා මෙම එන්නත් තොගයේ ගුණාත්මකභාවය, ආරක්ෂිතබව සහ කාර්යක්ෂමතාව අමතර මාසයක් සඳහා පවත්වාගෙන යා හැකි බව සඳහන් කර ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි  කල් ඉකුත් වීමේ දිනය දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දක්වන එන්නත බෙදා හැරීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ එම කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක Dr. Dirk Huyer පවසන්නේ, Health Canada මෙවැනි තීරණ ගන්නේ ආරක්ෂාව සහතික කර ගැනීමෙන් පසුව බවයි. එසේම එන්නතෙහි කල් ඉකුත්වීම තක්සේරු කිරීමේදී නිෂ්පාදකයා විසින් සපයන ලද සියලු දත්ත සහ වෙනත් තොරතුරු කැනඩා සෞඛ්‍ය අංශ විසින් සොයා බැලූ බව තමාට විශ්වාස  බවද ඔහු පවසයි.

Thrombotic Thrombocytopenia (VITT) නමැති දුර්ලභ ගණයේ ලේ කැටි ගැසීමේ තත්ත්වය මත මැයි 11 වන දා සිට ඔන්ටේරියෝව තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දීම නවතන බව ඔන්ටේරියෝ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී Dr. David Williams නිවේදනය කරන ලදී. නමුත් mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත Pfizer සහ Moderna එන්නත් සඳහා යම් අසාත්මිකතා ඇති වෙතැයි නිර්දේශිත පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාදීම නැවතී ඇතත්  මැයි 17 වන සතිය තුළ ඔන්ටේරියෝවට ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා 250,000 ක් ලැබී තිබුණි. ඒ අතර තිබූ එන්නත් 45,000 ක පමණ ප්‍රමාණයක් මැයි 31 වැනි දින වන විට කල් ඉකුත් වන බව සඳහන් වීමත් සමග මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ඉක්මන් කරන ලදී. ඒ අනුව  මාර්තු 10 දා සිට 19 දක්වා ඇස්ට්‍රාෙසෙනකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ඔන්ටේරියෝනුවන් හට දෙවන එන්නත ලබාදීම ඇරඹුනි. බ්‍රහස්පතින්දා (27) වන විට මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 31,600 ක් පමණ ඔන්ටේරියෝ පළාතේ ෆාමසි ගබඩාවලට ලබා දී ඇති අතර ඉන් 11,500 ක් මේ වන විට එන්නත් කර ඇතැයිද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉතුරු එන්නත් මාත්‍රා  සිකුරාදා දිනය අවසන් වීමට පෙර ලබාදීමට අපේක්ෂා කර තිබුණි.

AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව මේ සති අන්තයේ සිට Toronto, Kingston සහ Windsor යන ප්‍රදේශවල ෆාමසි 162 කින්  ලබාගත හැකි බව රජය නිවේදනය කර සිටී. ඒ සඳහා ලියාපදිංචි විය හැකි ෆාමසි ලැයිස්තුව COVID-19 pharmacy vaccine locations වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැක.

Share this Post