Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී.
මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම නිසා වසරකට මිය යන සංඛ්‍යාවද සිය ගණනක් බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
ඔන්ටාරියෝ ඖෂධ ප්‍රතිපත්ති පර්යේෂණ ජාලය (Ontario Drug Policy Research Network) විසින් සිදුකර ඇති මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇති කරුණුවලට අනුව 2013 වසරේදී Opioid ගණයේ ඖෂධ අධිමාත්‍රාවලින් ගැනීමෙන් සහ ඒවා විෂවීමෙන් 638 දෙනෙකු මිය ගොස් ඇත. ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළහොත්, ඔන්ටාරියෝ පදිංචිකරුවන් අතරින් සෑම 20,000 කටම එක් අයෙකු ලෙස මෙම මරණ අනුපාතය දැක්විය හැක. Opioid අධිමාත්‍රාවලින් ගෙන මරු වැළඳගත් පිරිස අතරින් සියයට 13 ක්ම ඒවා පාවිච්චි කර ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින්ම වීම මෙහි ඇති තවත් ඛේදවාචකයකි.
Opioid භාවිතය නිසා සිදුවූ මරණ පිළිබඳව මෑත වසරවල නිකුත් වී ඇති වාර්තා සලකා බැලීමේදී 2008 සිට 2013 දක්වා වූ කාලසීමාව තුළ ඔන්ටාරියෝවෙහි මරණ 2,879 ක් සිදුවී ඇති බව හෙළිදරව් වී ඇත. එම මරණ අතරින් බහුතරයක් වාර්තා වී ඇත්තේ වයඹදිග ඔන්ටාරියෝවේ තන්ඩර් බේ (Thunder Bay) පළාතින් සහ ඊසානදිග ඔන්ටාරියෝවේ ටිමිස්කේමින් දිස්ත්‍රික්කය (Timiskaming districts) තුළිනි. සමස්ත ඔන්ටාරියෝව තුළ Opioid සම්බන්ධිතව සිදුවූ මරණ සංඛ්‍යාව දෙස බැලීමේදී මෙම පළාත් දෙක තුළ පමණක් එය හතර ගුණයක පමණ වැඩිවීමක් පෙන්නුම් කරයි. එහෙත් තන්ඩර් බේ සහ ටිමිස්කේමින් හි Opioid සම්බන්ධ මරණ එතරම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මන්ද යන්න තාමත් විසඳාගත නොහැකි ගැටලුවක්ව පවතී.
2014 වසරේ ඔන්ටාරියෝවේ රෝහල් දත්තයන් විමසා බැලීමේදී ධචසදසා භාවිතයෙන් ඇතිවූ විවිධ සංකුලතා නිසා හදිසි අනතුරු සේවාවට පැමිණ ඇති සංඛ්‍යාව 3200 කි. මේ අතරින් 1620 නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත.
Opioid භාවිතය නිසා සිදුවන අනතුරු හා මරණ මේ අන්දමට දිගින් දිගටම වර්ධනය වුවහොත් එය ප්‍රබල සෞඛ්‍ය ගැටලු රැසකට මෙන්ම ජන ජීවිත අනතුරේ හෙළීමටත් හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව නිසි පියවර ගැනීම කෙරෙහි මේ වන විට ෆෙඩරල් රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ව්‍යවස්ථාදායක තුළින්ම වෙනස් කම් සිදුකරමින් ඊට පිළියම් යෙදීම කෙරෙහි රජය සලකා බලමින් සිටී.
ඒ අනුව මේ වන විටත් ව්‍යවස්ථාව තුළ ඇති ධචසදසා භාවිතය පිළිබඳව වූ රෙගුලාසිය ‘ක්‍රියාකාරී සැලැස්මක්’ දක්වා යාවත්කාලීන කිරීම 2017 පෙබරවාරි මාසය වන විට සිදුකර එය ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වේ.

Share this Post